sarath munasinghe

අකුරැස්ස පරදූවෙහි ඉපදී හැදී වැඩුනු සරත් මුණසිංහ ආරච්චි සිය තරුණ වියෙහි දී ම කොළඹට සංක්‍රමණය වූ ලේඛකයෙකි. ග්‍රාමීය පරිසරයෙහි මෙන්ම නාගරික ජීවිතයෙහි ද අත්දැකීම්, ගුණ සුවඳ හා හැලහැප්පීම් අතැඹුලක් සේ දත් හෙතෙම සාහිත්‍ය කලාවට පිවිසුනේ කවියෙකු හැටියට ය. ඒ 1980 දශකය මුල භාගයේ දී ය. ඔහුගේ බොහෝ කවි ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායට සමීප වන අතරම ඒවා අවේගයෙන් තොරව දුලබ අනුභූතීන් ලෙස විචාරක අවධානයට පාත්‍ර විය. වඩා හරවත් අත්දැකීම් සම්භාරයක් ඔහුගේ ඉතා කෙටි නිර්මාණයන් තුළ ඉදිරිපත් වී ඇතැයි ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ මෝදු (1989) පිළිබඳව සඳහන් කරමින් නාට්‍යවේදී සුනන්ද පුෂ්පකුමාර ප්‍රකාශ කළේය.

අනතුරුව, කෙටිකතා රචනයට යොමු වූ සරත් මුණසිංහ ආරච්චි වැඩි කල් නොයා ම එහිලා ද සිය ප්‍රතිභාව ප්‍රකට කළේය. ඔහුගේ මුල්ම කෙටි කතා එකතුව අන්තිමයි වහා ම එන්න (1993) නමි. එම කතා “අර්ථාන්විත සංකල්ප ප්‍රතිනිර්මනයෙහි යෙදෙන පර්යේෂණාත්මක ප්‍රයත්නයක ගති ලක්ෂණ විදහා පායි.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජිනදාස දනන්සූරිය විසින් සඳහන් කෙරී ඇත. කතා කීමෙහි දක්ෂකම මෙන් ම මනුෂ්‍ය ජීවිතයේ යම් යම් ගති පැවතුම් විනිවිද දැකීමෙහි දක්ෂතාව ද සරත් මුණසිංහ ආරච්චි සතුව ඇතැයි ලේඛිකා කරුණා පෙරේරා ලීවාය. ඔහුගේ කෘති සමාජය පිළිබඳව සංවේදීතාවෙන් ම මතු වන අතර සංයමයෙන් නිමාව දකින බව මහාචාර්ය සෝමරත්න බාලසූරිය ගේ අදහසයි.

ඔහුගේ ගද්‍ය කෘති යුරෝපීය සම්භාව්‍ය යථාර්තවාදී රීතිය ගුරු කොට ගනී. ඔහු සිය ප්‍රථම නවකතාව රොබරෝසියා ගසක් පාමුල දී (2010) නමින් පාඨකයා අතට පත් කළේය. බිඳුනුවැව ග්‍රාමයෙහි පන නැගි වර්ගවාදයේ ගිනි පුපුරු සහ එහි සිටි දෙමළ රැඳවියන් වෙත එල්ල කෙරුණු භීෂණයෙහි පරිමාව එයට වස්තු විෂය විය. සමාජ, ආර්ථික හා දේශපාලනික අතිභූතින් බහුලව ප්‍රතිනිර්මාණය කරන සරත් මුණසිංහ ආරච්චි ජනතාවාදී ප්‍රචාරකවාදයෙන් බැහැර වී සිය පෑන හසුරුවයි.

මේ වන විට, කාව්‍ය කෘති 07 ක් ද, කෙටි කතා පොත් 05ක් ද, නවකතා පොතක් ද මුද්‍රණද්වාරයෙන් පල කොට ඇති සරත් මුණසිංහ ආරච්චි මහරගම, ඇරැව්වල ප්‍රදේශයෙහි පදිංචිව සිටී.