සමාජයේ පවත්නා විෂමතා, දුක්ඛ, දෝමනස්ස, ඒවාට හිතු කාකාරාදිය විෂය කර ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ඔහු බොහෝ ලේඛකයන් නුදුටු අත්දැකීම් ස්පර්ශය කරන්නේය. බොළඳ හෝ සුලභ අත්දැකීම් ඔහුගේ නිර්මාණ වලට විෂය නොවේ. එසේම බොහෝ තරුණ ලේඛකයන්ගේ කෘති වල දක්නට ලැබෙන අවේගශීලිත්වය ඔහුගේ නිර්මාණ වල දක්නට නොලැබේ. එහෙත් ඔහුගේ කෘති සමාජය පිලිබඳ සංවේදිතාවයෙන් ම මතුවන අතර සංයමයෙන් නිමාව දකින්නේය.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය
සිංහල අධ්‍යන අංශය
කැළණි විශ්ව විද්‍යාලය, කැලණිය


සරත් මුණසිංහ ආරච්චි අත ඇත්තේ තීන්ත ඉවර නොවෙනා පෑනකි. ඔහු සමාජයේ තමා විසින් අත් විඳින්නා වූ නෙකවිදි සිදුවීම් අලලා ලියයි. ලියන්නට ඇති හැකියාව පෙර සංසාරයේ සිට භවයෙන් භාවයට ගමන් කරන ජීව ශක්තියක් යයි සිතේ. ඒ සඳහා වාසනා ගුණයක් ද තිබිය යුතුය. එදා මෙදා තුර එබදු වාසනාවන්ත පුද්ගලයෝ අපේ සාහිත්‍යාවලිය සරු කළහ. ලේඛකයෝ අත් විඳින අනන්ත දුක්ඛ දෝමනස්සයන් සහුර්දයා අතිශය සුන්දර සිතුවිලි වලින් යුතුව රස විඳියි. හිරු කිරණට මුවා වන අපි මුදු සඳ එළියේ පහස විඳ විඳ සිනාසෙමු.චණ්ඩ සූර්ය රශ්මිය උරා ඒවා මුදු සවුම්‍ය කිරණ ලෙස චන්ද්‍රයා මුළු ලොවට බෙදා දෙයි. කලා කරුවාද එපරිදිය.

පාතේගම ඤනිස්සර හිමි
කථිකාචාර්ය
රජරට භික්ෂු විශ්ව විද්‍යාලය, අනුරාධපුරය.


අප සමාජය දෙස තියුණු නිරීක්ෂණ දෘෂ්ටියකින් තම නෙත්සර විහිදුවන මෙම කතුවරයා අප සමාජ ව්‍යුහයත් එහි පත්ලයෙන් මතු වී නැගී නින්දාව දෝංකාර දෙන යුගයේ හද ගැස්මත් මනා සංවේදීතාවයකින් යුතුව සියුම්ව ග්‍රහණය කර ගනිමින් බෙහෙවින්ම ආකූල-ව්‍යාකූල වූ අප සමාජ ප්‍රවහයෙහි ස්වභාව තුළ නන්විධ අතෝරයන්ට බඳුන්ව කැකෑරෙන ජීවිත වලට අත්වන සරදම් හා ඉරණම් ඔහු මෙම කෙටිකතා නිර්මාණ මගින් අනාවරණය කරයි.

අනුර කරුණානායක
සහකාර පුස්තකාලයාධිපති
කොළඹ විශ්ව විද්‍යාලය